Tuesday 12 March 2013

Nihal Nelson With 50 Years

එදා ඒ පත්තු කරපු මල් වෙඩිල්ල අවුරුදු පනහක් තවම පත්තු වෙනවා..

   නිහාල් නෙල්සන් හරියටම 1963 මාර්තු 31 වැනිදා දවල් එකොළහයි විස්සට ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් කරුණාරත්න අබේසේකර ශුරීන් මගේ මුල්ම ගීතය රසිකයා අතරට ඉදිරිපත් කළේ මෙන්න මෙහෙමයි.
“අද මේ වැඩ සටහනින් මම මල් වෙඩිල්ලක් පත්තු කරනවා. ඒ මල් වෙඩිල්ල උඩ ගිහිල්ලා බිමට නොවැටි සදාකාලිකවම ආලෝකය ලෝකයාට සපයන මල් වෙඩිල්ලක් වෙන බව සහතිකයි. මේ ගායකයා - නිහාල් නෙල්සන්.”එදා ඔහු මාව ඉදිරිපත් කළේ එහෙමයි. අද මට සතුටු වෙන්න පුළුවන් අබේසේකර ශූරීන්ගේ ඒ දැක්ම සැබෑ වී එදා මාව පිළිගත්ත රසිකයා අද වනතුරු මාව ආරක්ෂා කරගෙන තිබ්බ තැනම තිබීම ගැන. මේ රටේ රසිකයින් ගායකයකු ලෙස නිහාල් නෙල්සන්ව අවුරුදු පනහක්ම රැක ගත්තා. බිමට වැට්ටුවේ නැහැ. ඒ මල් වෙඩිල්ල තාමත් පත්තු වෙනවා. එතකොට මේ ‘ලස්සනට පිපුණු වනමල්’ ගීතයට තමයි අවුරුදු පනහ ලබන්නේ.”

මෙලෙස නිහාල් නෙල්සන් “රසඳුන” සමඟ මෙම කතාබහට එක් වුණේ ඔහුගේ ගායන දිවියට වසර පනහක් සපිරීම නිමිත්තෙන් ය. අපි නිහාල්ට අවසර දෙමු, මුලින්ම ඔහුගේ “වසර 50 යි, නිහාල් ඇවිත්” ගීත ප්‍රසංගයේ තොරතුරු පවසන්න.“මම ගීත ගායනයට එක්වෙලා අවුරුදු පනහක් පිරෙන්නේ හරියටම ලබන මාර්තු 31 වැනිදාටයි. ඒත් එදිනට ශාලා වෙන්කර ගැනීමේ අපහසුව හින්දා මාර්තු 15 වැනිදා සවස හයට කොළඹ මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී මගේ ‘වසර 50 යි, නිහාල් ඇවිත්’ ගීත ප්‍රසංගය පැවැත්වීමට කටයුතු යොදා ගත්තා. මෙහිදී මම ඒ ඒ වකවානුවල ජනපි‍්‍රය වූ ගීත පහළොවක් පමණ ගයන්න බලාපොරොත්තු වෙනවා.”
මෙදිනම තවත් සුවිශේෂ කටයුත්තක් සිදුවෙනවා නේද...?
ඔව්, මගේ අලුත්ම ගීත දොළහ ඇතුළත් ‘නිහාල් නෙල්සන් සමඟ සන්ෆ්ලවර් 112 - රිංගින් ටෝන්’ ගීත ඇල්බමය මෙදින එළිදක්වනවා. සියලුම තනු නිර්මාණය කළෙත් මමමයි.අවුරුදු පනහක් සපිරෙන ඔබේ කලා දිවිය පුරාම පවතින එක හා සමාන ජනපි‍්‍රයත්වය පිළිබඳ ඔබට හැඟෙන්නේ කෙලෙස ද...?නිහතමානී ආඩම්බරයක් හිතට හැඟෙනවා. මා ගැයූ මුල්ම ගීතය (“ලස්සනට පිපුණු වනමල්”) ගීතය අදත් එදා වගේම ජනපි‍්‍රයත්වයේ තිබෙන බව බොහොම ආදරෙන් කියන්න පුළුවන්. මම වේදිකාවේ දී මේ ගීතය නොගැයුවොත් ඒක කියන්න කියලා රසිකයින් ඉල්ලනවා.අවුරුදු පනහ පුරාම එක හා සමාන ඉල්ලුමක් ජනපි‍්‍රයත්වයක් ඊට තියෙනවා. මට මේ ජනපි‍්‍රයත්වය හිමි කර දෙන්න පුරෝගාමී වුණේ අපේ ජාතික ගුවන් විදුලියයි. අපේ පරම්පරාවේ ගායක ගායිකාවන්ගේ මව තමයි ගුවන් විදුලිය. මේ අවස්ථාවේ ගුවන් විදුලියට මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.ඔබේ මේ ගමනට අතහිත දුන් වෙනත් පුද්ගලයින් කවුරුන් ද...?
අතහිත දුන්නු පුද්ගලයින් ගැන නම් නැව් ගාණක් කියන්න වෙනවා. ඒ නිසා මෙහෙම ලියන්න. ඒ. ජේ. කරීම් සංගීත ශිල්පියා ආර්. ඒ. චන්ද්‍රසේන මාස්ටර්ට මාව හඳුන්වා දුන්නා. චන්ද්‍රසේන මාස්ටර් ගාවට ගියාට පස්සේ තමයි මුළු රටේම ව්‍යාප්ත වෙන්න මගේ ගායන දිවියේ වැඩ පිළිවෙළ කෙරුණේ. (“ලස්සනට පිපුණු වනමල්” ගීතය සංගීතවත් කළේ ද චන්ද්‍රසේන මාස්ටර්මයි.) ඉන්පසු කරුණාරත්න අබේසේකර ශූරීන් ඇතුළු ලංකාවේ සියලුම ගී පද රචකයින්, සංගීතඥයින්, මාධ්‍යවේදීන් හැමෝම මට සහයෝගය දුන්නු නිසා තමයි රසික රසිකාවියෝ එක්ක එකතු වෙලා මේ ගමන එන්න මට පුළුවන්කම ලැබුණේ.
අද ශ්‍රව්‍ය දෘශ්‍ය විද්‍යුත් මාධ්‍ය ඉදිරියෙන් තිබුණත් මාධ්‍ය ලෝකේ දිහා බලන කොට කිසිම දෙයක් නොවූ කාලේ දී මුද්‍රිත මාධ්‍ය විශේෂ වූ බව කියන්නම ඕනේ, අප වැනි හැම ශිල්පියෙකුටම ජනතාවට අතරට යාමට සහාය වීමේදී. ඒ නිසා අදත් අංක 1 මුද්‍රිත මාධ්‍ය තමයි. දැන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක වැඩ සටහනක් නම් නාළිකා මාරු කර වෙනස් කරනවානේ. මුද්‍රිත මාධ්‍යයේදී එහෙම බැහැ. කැමැති වුණත් අකැමැති වුණත් බැලිය යුතුයි. මුද්‍රණය වී තිබෙන දේ පේනවා. පෙනෙන කොට බලනවා. බැලුවාම කාගේ වුණත් ජනපි‍්‍රයතාව ආරක්ෂා වීමට ඒක රුකුලක් වෙනවා.”

“කිරිල්ලී” වෙනුවෙන් ගී ගයන්න ඔබ විශේෂ කැමැත්තක් දක්වනවා නේද...?

හ්ම්... ම්... කිරිල්ලියක් කියන්නේ ආදරයේ සංකේතයක්නේ. ආදරය අපේ ජීවිතවලට ගොඩක් සමීපයි. ආදරය වෙනුවෙන් මගේ ගීත එකතුවලදී එක ආදර ගීතයක් වත් ඇතුළත් කරන්න මම වෑයම් කරනවා.

වර්තමානයේ නිර්මාණය වන ගීත පිළිබඳ ඔබේ අදහස පවසනවා නම්...?

වර්තමානයේ ගීත වැඩිපුර නිර්මාණය වෙන්නේ ඇහැට මිස කනට නෙමේනේ. බලන්න සුනිල් සාන්තයන්ගේ ‘සුවඳ රෝස මල්’ - ‘ඕළු පිපිලා’ වගේ ගීත අදත් ජනපි‍්‍රයයි. සුනිල් සාන්තයන්ව දැකපුවත් නැති පරම්පරාව අද ඒ ගීත භාවිත කරනවා, ඇයි එහෙම වෙන්නේ. ලේ වලට කලවම් වෙච්චම ගීතයක් ඇහැට වඩා කනටයි පි‍්‍රය වෙන්නේ. ඇහැට පි‍්‍රය වුණාම ඊට වඩා පි‍්‍රය දෙයක් ලැබුණාම ටක් ගාලා අර මුලින් පි‍්‍රය වුණු දේ ඇහෙන් අයින් වෙනවා. කනට පි‍්‍රය වුණාම ලේ වලට කලවම් වෙලා දිගටම රැඳෙනවා. සුනිල් සාන්තයන්ගේ ‘සුවඳ රෝස මල්’ රූප රචනා (විෂුවල්) නැතුවාට නූතන පරපුරත් විඳිනවා. ඇහැට නැතුවාට ඒවා විනාශ වෙන්නේ නැහැ.

ඔබ අදහස් කරන්නේ ඔබේ ගීත සඳහාත් රූප රචනා අවශ්‍ය නැහැ කියා ද...?

මට රූප රචනා අදාළ නැහැ. තිබුණත් එකයි නැතත් එකයි. මොකද මම ප්‍රසංග වේදිකාවේදී සජිවී රූප රචනයක් (නිරූපණයක්) ඉදිරිපත් කරනවානේ. ඒ නිසා මටයි මගේ රසිකයින්ටයි ඔය රූප රචනා අදාළ වෙන්නෙම නැහැ. කතාවක් තියෙනවානේ - ‘කන පැලෙන්න ගහනවා’ කියලා. අපිත් අපේ ගීත දෙන්න ඕනේ මුලින්ම කනටයි. කනට ඇහෙන දේ තමයි මනසින් විඳින්නේ. එතැනදී රූප මැවෙනවා. කනෙන් ඇහෙන දේ ඇහෙන් දකින්න ආසා කරන පුද්ගලයා මනසින් ඒ සඳහා ක්‍රියාත්මක වෙන එක තමා ලෝකේ ක්‍රමය. ඒ ක්‍රමයට මම මගේ ගීත ඉදිරිපත් කරනවා.

ගීත කැසට් ක්ෂේත්‍රයේ පෙරළියක් කළ ඔබ චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ ඉදිරියට නොගියේ ඇයි...?

යන්න ඇරියුම් ආවා. ඒත් මගේ කැසට් විප්ලවය පටන් ගත්ත කාලේ නිසා මට වැඩිපුර ඒ සඳහා කාලය යොදවන්න වුණා. චිත්‍රපට විස්සක විතර ගීත ගායනා කළා. පණ්ඩිත් ආචාර්ය අමරදේව (“වාලම්පූරි”) - ගුණදාස කපුගේ (“රතු මකරා”) - ඩී. ආර්. පීරිස් (“දියමන්ති”) - සරත් දසනායක (“සක්විති සුවය”) - පැට්රික් දෙනිපිටිය (“ලෝක හොරු”) සහ ටෝනි වීරතුංග (“පෙම් කුරුල්ලෝ”) වැනි සංගීතඥයින්ගේ සංගීතයට මං ගීත ගයා තිබෙනවා. කොහොමත් කැසට්වල ගී ගයන්න ගියාම කලාකරුවකු වශයෙන් මට විශාල ආදායමකුත් ලැබුණා. චිත්‍රපට ක්ෂේත්‍රයේ දී එවැනි ඇගැයුමක් නොතිබීමත් ඉන් ඉදිරියට නොයාමට හේතුවක් වුණා.

“කිසියම් සමාජ මෙහෙවරක් ගීතය උපයෝගී කරගෙන ඉටු කළ හැකියි” යන මතයට ඔබත් එකඟ ද...?

ඔව්. මම ‘එපා එපා මස් කන්නට’ ගීතය ගායනා කළාට පස්සේ කී දෙනෙක් මස් කෑම නතර කළා ද? අපේ රටේ පිළිගත් මහාචාර්ය වරයකුවන කාලෝ ෆොන්සේකා බොහෝ අවස්ථා වලදී ප්‍රසිද්ධියේම පවසනවා - ‘මං හොඳට මස් කෑව කෙනෙක්. මං මස් කෑම නතර කළේ නිහාල් නෙල්සන් කියන ගායකයාගේ ‘එපා එපා මස් කන්නට’ ගීතය මගේ නෝනා ගෙදරට ගෙනල්ලා මට අහන්න දුන්නට පස්සේ’ කියලා.

තව ඒ වගේ ප්‍රභූවරු ඉන්නවා මේ ගීතය අගය කළ. වි. ජ. මු. ලොකු බණ්ඩාර සංස්කෘතික ඇමැතිව සිටියදී එතුමන් ‘එපා එපා මස් කන්නට කිරි අම්මාගේ’ නමින් ග්‍රන්ථයක් නිකුත් කළා. එය ප්‍රදානය කෙරුවේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිවරයාව සිටියදී එතුමාටයි.

ඒ වගේම ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිතුමා 1990 වෙසක් පෝය දා මේ ගීතය වෙනුවෙන් රූපවාහිනී ප්‍රවෘත්ති වලින් පසුව පැය භාගයක් මගේ ගීත සඳහා වෙන් කර දුන්නා. (“එවැනි විශේෂ වැඩ සටහනක් ලැබුණු මේ රටේ පළවැනියා මං. එහෙම වැඩ සටහනක් දැන් කාට හරි දුන්නත් ඒක දෙක මිසක් එක නොවේ” ) රටේ රාජ්‍ය නායකයින් දෙදෙනකුම මේ ගීතය පිළි අරගෙන තිබෙනවා. සමාජ මෙහෙවරක් ඉටු කරන්න ගීතයකට හැකි බව ඔප්පු කළ එක ගීතයක් පමණයි මේ. තවත් සින්දු තිබෙනවා.

පනස් වසරක ගායනා දිවියේ දී ඔබ ලබා ඇති සම්මාන මොනවා ද...?

මට ලැබිලා තියෙන සම්මාන තමයි රණවිරුවන්ට උදව් කරන්න ගියාම ලැබුණු හිස් පතොරම් කොපු සම්මාන. ලී කෑලි ගහලා, නම ගහලා දීපු ඒ වගේ හිස් පතොරම් කොපු සම්මාන ඕන තරම් තියෙනවා. තව අපේ පාසලේ ගායකයා කියලා මොරටු මහ විද්‍යාලයේ දීපු සම්මානත් තියෙනවා. වෙන නම් මුකුත් විශේෂ සම්මාන නැහැ. හැබැයි අවුරුදු පනහක් එක එල්ලේ ගීත ගායනයේ නියුතු වී ඉන්න මට මේ රටේ ආදරණීය රසික ජනතාව දීලා තියෙන සම්මානය මම හිතන් නෑ වෙන කාටවත්ම ලැබිලා තියෙනවා කියලා. ඒ සම්මානය රත්තරන් වලින් හදන්න බැහැ. ඒක මට රත්තරන් වලින් මගේ උසට සම්මානයක් හදලා දුන්නට වඩා වටිනවා.

ඔබ කතාබහ කරන්නේ වෙනදට වඩා සංයමයෙන් කියා මට හැඟෙනවා. එවැනි වෙනසක් වුණේ කොහොම ද...?

මිනිහෙක් පරිණත වෙනවා කියන්නේ ඒකයි. තාරුණ්‍යයේ දී අපි යටත් වෙන්න කැමැති නැහැ. යටත් නොවන කාලේදී යටත් නොවී ඉන්නේ කොහොමද කියලා තමයි හැම වෙලේම බලන්නේ. ඒත් යටත් විය යුතු තැන් තිබෙනවා. වැරැදි දේ ගැන දැන ගත්තාම තමයි සමාජය ගැන දැනගන්නේ.

සමාජය ගැන දැනගන්න පොත පත කියවන්න ඕනේ. සමාජයේ හැසිරෙන්න ඕනේ. පුද්ගලයින් සහ සිදුවීම් හදාරන්න ඕනේ. එවිට ක්‍රමානුකූල දැනුමක් අපට ලැබෙනවා. ඒ දැනුම සමඟ යහපත් ආදර්ශ අපේ ඇඟට ඇතුළු කරගන්නත් ඕනේ. එවිට කුහක, වෛර, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන වැනි අයහපත් දේ අපෙන් ඈත් වී අපේ සිත් පිරිසුදු වෙනවා. මං හිතනවා - මා තුළ ඔබ යම් සංයමයක් දකිනවා නම් ඒ මා ඉහත සඳහන් කළ කරුණු මගේ ජීවිතයට අදාළ කර ගැනීමෙන් සිදු වී ඇති වෙනසක් කියලා.

සරු දිවියක රස බලන ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු බිඳක් කියමු ද...?

මමයි - බිරිය මාලි - පුතා කාංචන තරංග - පුතාට කැඳවාගෙන ආ දුව ගයනි කාංචනායි හතර දෙනා සතුටින් සාමයෙන් අපේ ගෙදර ජීවත් වෙනවා. (“පුතාගේ බිරිය මම ලේලියක් කියා හඳුන්වන්න කැමැති නැහැ. ඇය මට දුවෙකු ලෙසයි මම සලකන්නේ” ) අපේ ගෙදර වැඩකාරයෝ නැහැ.

අපි එකතු වෙලා සුහදව වැඩ කටයුතු කරගෙන ඉන්නවා. මම උදේ හයට නැඟිටිනවා. නාලා බුදුන් වැඳලා දවසේ පත්තර කියවනවා. පුතාට ගායන හැකියාව තිබෙනවා. තාත්තා හම්බ කරපු ‘ගීත නමැති ධනය’ අරමුදලක් ලෙස පුතාට තිබෙනවා. මං කැමැතියි පුතා ඒ අරමුදල ආරක්ෂා කරගන්නා ගමන් පුතාගේම නිර්මාණ මඟින් එයාටම අනන්‍යතාවක් හදාගෙන ගායනයේ යෙදෙනවා නම්. කෙසේ වුවත් පුතාගේ කැමැත්තක් එයාට කරන්න පුළුවන්. තාත්තලා අම්මලා හම්බ කරන්නේ දරුවන්ටනේ.

ගායක ගායිකා සංගමයේ සභාපතිවරයා පවසනවා - “දැන් මේ සිංහල ගීතයේ අවසන් හෝරාවයි” කියලා. ඒ පිළිබඳ පවසන්නේ කුමක් ද?

එහෙම අවසන් හෝරාවක් ගැන මට නම් තේරිලා නැහැ. හැබැයි ගායක ගායිකා සංගමයේ සභාපතිතුමා හැටියට එහෙම දෙයක් තේරුණා නම් ආයාචනා කරනවා මං ඒක ලෝකයාට හා රසිකයාට දැනුම් නොදී සිද්ධ විය හැකි අකරතැබ්බයට පිහිට වෙලා, තමන්ගේ ධෛර්ය ශක්තිය යොදවලා සුදුසු රාජකාරියක් කරන්න කියලා. සිංහල ගීතයේ අවසන් හෝරාවේ අපි ඉන්නවා නම් ඉක්මනින්ම කළ යුතු දේ කරන්න ගායක ගායිකා සංගමයේ සභාපතිවරයා හැටියට විශාල වගකීමක් එතුමාට තිබෙනවානේ.

එය පිළිගෙන අපිට කරන්න පුළුවන් උදව් අපි කරනවා. මං ඔය සංගමයේ නැති වුණාට එතුමා පොදුවේ කරන යහපත් කටයුතුවලට සහාය දෙන්න මං සූදානම්. ‘කලාකරුවා සිංහාසනේ තියන්න මගේ පුටුව මං භාවිත කරනවා’ කියන පිරිසුදු හැඟීමෙන් සභාපතිතුමා කටයුතු කරනවා නම් හරි යයි. හැබැයි ඉතින් ඔය කාට මේ සිංහල ගීතයේ අවසන් හෝරාව කියලා දැනුණත් මට නම් මගේ රසිකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව නම් එහෙම දෙයක් දැනිලා නැහැ.

මේ කතාබහ නිම කරමින් ඔබ පවසන්න කැමැති කුමක් ද?

නිහාල් නෙල්සන් කියන නමටත් සරිගමපදනිස ට වගේ අකුරු හතයි, කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ. නිහාල්ගේ සින්දුවලට තවම රූප රචනා නැහැ. රිංගින් ටෝන් දමා ලබන ආදායම් නැහැ. ඒත් හැම වෙලේම මගේ ටෝන් එක රිංගින්. ඒ සමඟම මං ප්‍රාර්ථනා කරන්න කැමැතියි ‘අපේ සංගීත ක්ෂේත්‍රය ඇතුළු මුළු මිනිස් සමාජය පිනටම යන පැත්තට බර වේවා’ කියලත්. හරිනේ - ඒ ඇති. අපි මෙම15 වැනිදා සවස 6.00 මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී නැවත හමුවෙමු. මතකයිනේ - එදාට මගේ ‘වසර 50 යි, නිහාල් ඇවිත්’ ගීත ප්‍රසංගය පැවැත්වෙනවා.


ජෝජ් රොබ්සන් ද සිල්වා

0 comments:

ස්තුතියි....Thanks...!

SLMR Rank